කොරෝනා හේතුවෙන් අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

42

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතුවලට සහාය වීම සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

BBCය වාර්තා කළේ, මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඩොලර් බිලියන 50 ක හදිසි මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ෆෙඩ්රල් රජයට අනුමැතිය දී ඇති බවයි.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1701 ක් වන අතර මිය ගිය ගණන 40 කි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වයේ කේන්ද්‍රය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනෝම් ගෙබ්රේයසස් පවසයි.

ඔහු සියලු රටවලින් ඉල්ලා සිටින්නේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා වෛරසය පාලනයට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එම වෛරසය යුරෝපා රටවල් රැසක මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යාම හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

යුරෝපා කලාපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි.

ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 250 කි.

ඉතාලියෙන් මේ වනවිට කෙරෝනා ආසාදිතයින් 17,660 දෙනෙකු වාර්තා වන අතර මිය ගිය ගණන 1266 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දෙවැනි බලපෑමට ලක්ව ඇති රට වන්නේ ස්පාඤ්ඤය යි.

එරටින් ආසාදිතයින් 4231 දෙනෙකු වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 120 කි.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 132,500 ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 5000 දක්වා ඉහළ ගොස් තිබේ.